නිදහස් මම…

~ A Deadly freedom ~

ආදරණීය වසන්තය

ආදරණීය වසන්තය හෙමින් හෙමින් ඇවිත්,දෙනෙත් අභියස ඉගි මරමින් ජීවිතය වින්දනය කරන්න එන්න කියලා ආරධනය කරන්න අරන් නැවතත්…ඇවිදින්,දැන් ඉතින් සතුටු වෙන්න, හිනා වෙන්න…දැන් අර වේදනාත්මක, කටුක සීත කාලේ හමාරයි කියලා සිත සනසවනවා. ලගින් ඉදන් හිස පිරිමදිමින් ආදරණිය උණුසුමකින් හිත පුරවනවා…එන්න…නින්දෙන් අවදි වී යන්තම් හිස ඔසවා හිනා වෙන මල් කැකුලු අතර ඇවිද යන්න,ගලා යන දොල පාරේ සංගීතයට කන් දෙන්න, කුරුල්ලන්ගේ කතා අහන් ඉන්න… එන්න කියලා කියනවා…අතීතය නුඹට දුන්න වේදනාවන් අමතක කරන්න,ඉඩදෙන්න මට…පුරවන්න ඔය හිත ආදරයෙන්,සරසන්න ඔය වත සොදුරු හසරැල්ලකින්…ඉඩදෙන්න මට…නුඹේ ජීවිතය සමග පෑහෙන්න…ඔව් මගේ හිතත් පොරබදිනවා…නුඹ හා එක්වන්න…කවුලුවෙන් පෙනෙන ඒ සුන්දරත්වය දිහාට නෙත ඇදෙන වාරයක් පාසා මේ කලුවර, දොම්නසින් පිරි කාමරයෙන් එලියට ගිහින්, මග බලාගෙන ඉන්න වසන්තයේ දෝතට දුවගෙන යන්න…ගිහින් ඒ උණුසුම හොද හැටි විදගන්න…ජීවත් වෙන්න…සතුටු වෙන්න…හිත ආසාවෙන් ඉපිලෙනවා…හිත සතුට දරාගෙන නුඹ හා එක්වන්න ඇවිද ආවත්… ඔව් නුඹ ගිහින්..මගෙන් ඈතට… පෙර ලෙසටම… හිත ලග මවපු සුන්දර ලෝකයත් අරන්ම නුඹ ගිහින්…

Advertisements

~ ඔබේ ජීවිතය පිළිබද මගේ ඇගයීම ~

ඔබේ ජීවිතය පිළිබද මගේ ඇගයීම පහත සදහන් ආකාරයෙන් වෙයි:

අසීමිතව කම් සැපෙහි ගැලුණු,ලෛංගිකව අතිශයෙන් දූෂිත වූ තව දුරටත් පැගිරි වයසේ පසු නොවූ මම, නොකැළැල්, ගුණ යහපත්,හුරුබුහුටි,අටළොස් වියේ පසු වූ  යෞවනියක වූ ඔබ ආවහ කර ගත්තෙමි.

මගේ තුච්ඡ,දුෂ්ට අතීත ජීවිතය ගැන නොසලකා ඔබ අවුරුදු පනහකට ආසන්න කාලයක් පුරා මට ආදරය කරමින් වෙහෙසකර, අසීරු, කාර්ය බහුල ජීවිතයක් ගත කලේ දරුවන් වදමින්, පෝෂණය කරමින්,රැකබලා ගනිමින් හා මා ගැන සැලකිලිමත් වෙමිනි.

ඒ අතරම ඔබගේ තත්වයේ පසුවූ වෙනත් ඕනෑම ශක්තිමත්,සෞඛය සම්පන්න, සුරූපී ගැහැනියක ඉතා පහසුවෙන් ගොදුරු විය හැකි වූ පෙලඹවීම් වලට විරුද්ධව ඔබ සටන් කලාය.

කිසිදු කරුණක් පිළිබදව ඔබට දොස් පැවරීමට තරම් මා ධෛර්යවත් නොකරන අන්දමේ ජීවිතයක් ඔබ ගත කලාය.

ඔබ මගේ දැඩි ආධයාත්මික දියුණුව අනුව නොයෑම පිළිබදව කිවහොත්, යමෙකුගේ ආධයාත්මික ජීවිතය යනු ඔහු හා දෙවියන් අතර පවතින රහසක් බැවින් ඒ පිළිබද ව මම ඔබට දොස් නොකියමි.

(1910 ජූලි මස 14 දින ටෝල්ස්ටෝයි සිය බිරිදට ලියූ ලිපියකිනි.)

ටෝල්ස්ටෝයි ශෝකාන්තය-ආනන්ද අමරසිරි

13.11.10 (ප්‍රශ්න)

ප්‍රශ්න… ජීවිතය වෙලාගෙන හෙමිහිට ගෙල මිරිකා දමන්නට උත්සහා ගන්නා මහා එපා කරපු සතුරෙක්ගෙ වෙසක් අරගෙන ජීවිතයට ආයෙත් එබිකම් කරන්න අරන්. උඹට නොතේරුනාට, මම හුස්මක් අරන් ආයෙත් ජීවත් වෙන්න හැදුවා විතරයි… දයාබර ප්‍රශ්නවැල…උඹ කලුවර කොනකට වෙලා හැංගි හැංගි කල් මරලා ලක ලෑස්ති වෙනවා. මටත් නොදන්වා සිනාවක අග්ගිස්සක එල්ලිලා, මුලු ජීවිතේම අපායක් කරන්න කඩාපාත් වෙනවා. එක අතකට උඹේ ඇති වැරැද්දක් හොයා ගන්නත් බෑ… ඒ තරමටම උඹත් හරියට නැතුවත් බැරි ඇතුවත් බැරි කෙනෙක් වෙලා… දැන් නන් වැඩිපුර හිනා වෙන්නෙත් හරි සෝදිසියෙන්. හිනා වෙන තරමටම අඩන්න වෙනවා කියලා උගන්නන්න නුඹ ඒ දවස් වල හරි උජාරුවට වටිනා සලුපිලි දවටාගෙන ඇවිත්, මගේ වටේ කැරකි කැරකී ඔච්චම් කරපුවා දැන් නන් මතකත් නැතුව ඇති. ජීවිතය කියන්නේ පාවි පාවී ගෙවන්න පුලුවන් සුන්දර කාල පරිච්ඡේදයක් නෙවේ කියලා මට ඒත්තු ගන්වන්න උඹ වෙහෙස උන හැටි, මම ඒ පාඩම දුක් මහන්සියෙන් ඉගෙන ගන්න දිහාව උඹ උපෙක්ෂාවෙන් බලාගෙන හිටපු හැටි… නුඹේ එක් කඩඉම් විභාගයක් ජයගෙන උදම් වෙන මට,නැවත නැවත එක පිට එක පරික්ෂණ රැසක් පනවපු විදිහ මම කොහොම අමතක කරන්නද…. දැන් මට මහන්සියි, මට තෙහෙට්ටුයි… නුඹ සමග හැප්පෙන්න තරම් මට දැන් හයියක් නෑ… උඹ ආයෙම මගේ ජීවිතේට එන්න කලින් ටික කාලයක් මට ජීවත් වෙන්න අවසර දෙන්න…. මටත් ජීවිතයේ වින්දනීය පැත්ත ගවේශනය කරන්න දෙන්න… ඒදා වගෙමයි…උඹ අදත් කිසි පිලිතුරක් නොදී නිහැඩියාවෙන් මාව පෙලනවා… නමුත් මම උඹ එක්ක තරහා නෑ.

08.11.10(හැගීම්)

පුදුම නිදහසක්… මගේ සිත පියාසර කරනවා, කුරුලු පියාපතක රැදි සැහැල්ලුවෙන්…. හිත ඇතුලාන්තයේ තෙරපී තෙරපී පිට වෙන්නට පොර බදින සොදුරු සිතිවිලි රාශියක් පදවැල් වලට පෙරලී පොත් පිටු අතර සැගවිලා ඉදන්හොරැහින් ඉගි බිගි පානවා, හරි සතුටින්…සිතිවිලි අහුරක් සිතත් එක්ක අපූරු සටනක… සිහිනයත් යතාර්ථයත් අතර අතරමං වුනු මම කිසි දෙයක් නොදැනෙන විදිහට බලාගෙන ඉන්න හිතුවත්… කෑ ගහලා කියන්න හිතෙනවා හිතේ ඇති හැම දෙයක්ම… නුඹ මට දැනෙන අපූරුව…. දැනෙනා හැටි නුඹට ඇති ආදරය… ඔව් සහතිකයි මට ආදරේ දැනෙනවා…කියන්නද මම නුඹට කවුලුවෙන් එපිට ඇද හැලෙනා වස්සානයත් සමග පාවී එන මල් සුවද කැටිවූ සුළග, නුඹ ගැන ගීයක් මුමුණන වග.නුඹ තේරුම් ගනීවිද…හිතේ කොනක සියුම් ප්‍රශ්නාර්ථයක් එනමුදු මට දැනෙනවා… හැම දෙයකම ගැබ් වූ සුන්දරත්වයක්, ලස්සනක් වෙන කවරදාටවත් වඩා… ඔව් මට හැගෙනවා…. මට දැනෙනවා ආදරේ…

28.10.10(අයිතිය)

rein drops

කාමරයේ ජනේලය ඇරලා දාලා…මිදුලේ කොනක තිබුණු අඹ ගහේ දලු අගින් වැහි පොද එකින් එක  බිමට වැටෙනවා මම බලාගෙන හිටියා. හිතේ තියෙන සිතිවිලිත් ඒ වගේ එකින් එක් ගිලිහිලා යනවානන්….මටවත් තේරුම් ගන්න බැරි විදිහට  නුඹ හා බද්ධ වෙලා තියෙන  සිතිවිලි මේ තරම් සංකීර්ණ වුනේ කොහොමද… මොන වේලාවෙද? හැම දේකම සරල සුන්දරත්වයක් හොයාගෙන යන්න හදන හැම වෙලාවකම ඒ සරල බව බිදගෙන කොහේදෝ හැංගිලා හිටපු කරදරකාරී සංකීර්ණ පරිසරයක් හැදෙන්නේ ඇයි? මම මගෙන් ප්‍රශ්න කර ගත්තත් කොහෙන් උත්තර ගේන්නද…..සරලත්වයට හරිම කෙටි ආයුෂ කාලයක් තියෙන්නේ, ඊට පස්සේ අපි අර සරලත්වය නිසා ලබපු සතුටට තව දීර්ඝ කරගන්න බැදීමක් පස්සේ පන්නලා අන්තිමට තණ්හාවෙන් පෙලෙන්න ගන්නවා. මම ඇයි අයිතියක් ගැන කල්පනා කරන්නේ… මට බැදීමක මුවාවෙන් පමණක් නුඹ මා කෙරේ රදවා ගන්න රිසියක් නැති කොට.හදවතින් බැදීම වචනයකට පෙරලීම,එය ගිවිසුමක් බවට පෙරලන හින්දාද මම සංකීර්ණත්වයට අකමැති…හිතේ පොරබදන සිතිවිලි වල නන් නිමක් නැති ගානයි.අකුරු හතරක කොටුවකින් එහාට මට යන්න ආසයි. ඒ කොට බිත්ති හතරේ පටු බැමි වලින් මිදී මම පියාඹන්න ආසයි. ඒ තනිවම නෙවේ නුඹද කැටුව. එහෙනන් ඇයි මට මේ ආත්මාර්ථකාමී අදහස්…. ඇයි මම තණ්හාවක වෙලෙන්න හදන්නේ…. තාලෙට නැලවුනු අඹ දලු වැහි බිංදු නිසා පහලට නැවිලා… වැහි බිංදු මහ වැස්සක් වෙලා කඩා හැලෙන්න අරන්….

26.10.10 (මතකය)

moon

පෝයත් ගෙවිලා ගියා. මිදුලට ඉහලින් කලුවර අහස මැද දිදුලන සද දිහාව මම ටිකක් වෙලා බලාගෙන හිටියේ ඒ වෙලාවේ කිසිම අරමුණක සිත නොතිබුන නිසයි. පුංචි තරු ගොන්නක් මැදි කරගෙන හරි ආඩම්බරයෙන් දිලිසෙන හදහාමි,නුඹ ගැන ඇති මතකයට කාල දින වකවානු හදා ගන්නට නොහැකිව මා සිතින් දැවෙන විට නුඹ පෙර පරිදිම හිනා වෙන අපූරුව! එදා වගේම නුඹ අදත් හරි හැඩයි,නෙතට ප්‍රියයි. පොඩි කාලේ සද ඉල්ලා  හැඩුවා නේද කියලා මතක් වෙද්දී හිතට සියුම් ලැජ්ජාවක් ආවත් ඒ නොලැබුනු හද නිසා ජීවිතය ගැන ඉගෙන ගත්ත පාඩම ගැන මම හදට ස්තූතිවන්ත වෙන්න ඕනේ කියලා එක පාරටම මට හිතුනා. නුඹ මට කියා දුන්න ඒ පොඩි පාඩම මාව ජීවිතයේ ගොඩක් ඉස්සරහට ගෙන ගිය බව නුඹ හට නොකිව්වද, මට පමණක් ඇහෙන මේ සිතිවිලි කියනවා. හිනා වෙන්න, ඇති තරම් හිනා වෙන්න! මගේ කිසි තරහක් නෑ. නුඹට නොපෙනුනද නුඹ ගැන දුටු සිහින කන්දරාවේ නටඹුන් අදටත් මේ සිතේ අදුරු කොනක සැගවී තියෙන බව මම අකමැත්තෙන් උනත් පිලිගන්නවා. ඒත්! නුඹ එය දැන නොගන්නේ මා පළදාගෙන ඇති වෙස් මූණට පින් සිද්ද වෙන්න. මොන දේ උනත් කමක් නෑ කියලා හිතේ කහටක් නැතුව ස්තූතියි කියන්න හැදුවත් මම,මොනවා කරන්නද…. ඒදා වගේම තමයි අදටත් නුඹට මා නොපෙනෙන අපූරුව

අවසරය…

අවසරය

මුනිවත රකිමි මම ඔබ අසල. දෙනෙතින් සටහන් කර ගනිමි ඔබේ රුව මම,සවන් දෙමි මම චංචල සිතිවිලි දවටා මුදා හරින ඔබේ සුසුම් රාවයට… කුමක් පවසන්නද,කෙලෙස පවසන්නද… නිහැඩියාව බිදිනට අවසර නැත මා හට, දෝතින් ගෙන පා කර හරින්නට හැකි නම් නුඹේ ඔය සිතිවිලි අහුර, දවා ලන්නට හැකි නම් නුඹ දවනා සිතිවිලි ගොන්න, උදුරා ගන්නෙමි නුඹෙන් මම නොදැනෙන්නට නුඹටද හොරා. සිර කර තබමි ඒ සිතිවිලි අහුර ඈත කදු මුදුනක මිහිදුම් වලා අතර. දැනේවි ඔබට එහි අපූරුව,සොදුරු රටා මවාවි ඔබ නෙත් අභියස… සනසාවි නුඹව සිත දැහැන් ගත කොට. එනමුදු මුනිවත රකිමි මම, අසල දැවටෙමින් සංසුන්ව.නුඹ දැවෙනා යුරු  බලා හිදිමි මම මා දෙනෙත් අභියස. ලියා තබන්නෙමි මා සිතිවිලි හදවතේ අදුරු කොනක නිහඩවම, කුමක් කියන්නද නුඹට මම, වැළපෙනු මිස නුඹට හොරා, නුඹට නොහගවා. නෙතග රැදි කදුලද මුවා කරමි නුඹෙන් මම, අවසර නැති හෙයින් හෙලන්නට නුඹ අභියස,බලා හිදිමි මම අවසර ලැබෙන තුරාවට නුඹෙන් මට, හෙලන්නට කදුලක් නුඹ සමග, නුඹ වෙනුවෙන්. බලා හිදිමි මම සිතේ දොරගුලු විවර වන තුරු මා හට.

අවසන් මං නැවතුමට එපිටින්..

ඔවුහූ ඔහුගේ බිත්ති හුණු පිරියම් කරමින් සිටිති;
ඔහුගේ බඩු බාහිරාදිය එළියට ඇද දමමින් සිටිති.
අතීතයේ වූ සුපුරුදු කිසිවක් දැන් ඉතිරි වී නැත.

සදාකාලික කාලය විසින් ලුහු බැදිනු ලැබ නිවසෙන් පලා යන ඔහු තම ජීවිතයේ වඩාත්ම දුෂ්කර කාලපරිච්ඡේදය ගත කළ තැනට කඩා වදී.

පසුපස පියගැට, තුන්වෙනි මහල, දෙවැනි දොර
කියවා ගැනීමට තරම් පැහැදිලි නැති නාම පුවරුව මත
වියැකුනු නම,
” විසි අවුරුද්දක් ගෙවිල ගිහින්- අනේ මාව ඇතුළට ගනනවාද!

මහලු ගැහැනියක් දොර විවර කරයි. වසර ගණනාවක හුදෙකලාවකින් අනතුරුව වුවත් තමා මන්දෝත්සාහීව සිටීම ගැන ඈ විස්මයට පත්ව සිටී,දිගු කාලයක් තිස්සේ වර්ණයක් ගැන නොදන්නා තම දෙතොල් ඈ සපා ගනී. දිගු කාලයක් තිස්සේ අමතක කර දමා තිබුණු ඉරියව්වකින් ඈ සිය අපිරිසිදු කෙස් රෑන සකසා ගනී. බිත්තියේ එල්ලා ඇති පැරණි පෙම්වතුන්ගේ ඡායාරූප ඔහුගෙන් වසන් කිරීමට ඈ අශෝබන ලෙස අත් දිගු කරයි. මේ හෙලිදරව් වීම් තවදුරටත් ගැටලුවක් නොවන අතර සියල්ල යහපත් බව අනතුරුව ඇය තේරුම් ගනී.

විසි වසරකට පසු ඔබ යලිත් පැමිණ සිටී.

අවසාන වැදගත් හමුවීම
මගේ ජීවිතයේ………..

ඔව්, සියල්ල යහපත් ය. මුහුණ මත ඇති  රැලි හෝ වැරහැලි වූ ඇදුම් හෝ කහ ගැසුණු දත් හෝ එල්ලා වැටෙන සම හෝ ලේ සිදුණු දෙතොල් හෝ තව දුරටත් ගැටලුවක් උද්ගත නොකරයි.

තිර බව
ජීවිතයේ අවසන් සේම
වඩාත් කාරුණික වූ තිළිණය.

ඉතින් ඔහු තම අත මේස දිගේ විඩාබර ලෙස අද්දමින් කාමරය හරහා යන අතර

ඔහුගේ දුබල වූ අත් වැස්ම
පැරණි පෙම්වතුන්ගේ ඇගිලි සලකුණු
මකා දමමින් තිබේ.

ඇයට බොහෝ මිනිසුන් හමුවි ඇති බව ඔහු වටහා ගනී.මේ පෙම්වතුන්  රැළ

ඇගේ සමේ වූ මාහැගි අලංකාරය
මුලුමුනින්ම නාස්ති කර දැමූහ.

දීර්ඝ කාලයක් තිස්සේ අමතකව තිබුණ ගීයක් ඔහුගේ ආත්මය තුළ කැලතෙයි.දෙවියනි කුමක්ද ඒ ගීතය?

වැල්ලෙන් නිමවූ සයනය මත පාවී පාවී…….

ඔබ දිගින් දිගටම ඉබාගාතේ පාවි යමින් සිටී.අන්තිමේදී ඔබේ අරටුව, ඔබේම හදවතේ අරටුව හැරෙන්නට කිසිවක් ඉතිරි නොවේ.

තමාට පිරිනැමීම සදහා දැඩි වූත්,තුරුණු වූත් කිසිවක් ඔහු සන්තකයෙහි ද නොමැති බව ඇය වටහා ගනී. නමුත්

දැන් මා වෙත පැමිණෙන
මේ වෙහෙසකර අවස්තා,
සොබා දහමේ බිදින්නට නොහැකි
සන්සුන්,පිරිසිදු ක්‍රියාදාමය උදෙසා වූ
මේ ගිවිසුමේ,
මා ඔබට උරුම කරන මේ……

ශෝකයෙන් තැවෙන ඔවුන් දෙදෙනා එකිනෙකාගේ මුහුණු ස්පර්ශ කර ගනිති. ඔහු ඇයට “මගේ කෙල්ල” යනුවෙන් අමතයි. ඇය ඔහුට “මගේ කොල්ලා” යනුවෙන් අමතයි.ඉනික්බිති ඔවුහූ වැළපෙන්නට පටන් ගනිති.

අතරමැද කිසිවක් නොමැත.
හුවමාරු වන වදනක් හෝ බැල්මක් ද නොමැත.
සගවන්නට කාලකණ්ණිකම- ඔහුගේ හෝ ඇයගේ.

ඔවුන්ගේ වියලි දිව තුඩු වලට දැනෙන ඔවුනොවුන්ගේ කාලකණ්ණිකම සැබෑවක්ම වෙයි.ඔවුහූ එය මහත් කෑදරකමින් එකිනෙකා වෙතින් පානය කර ගනිති.එකිනෙකාගේ දුක්ඛිත සිරුරුඅතපත ගා ගන්නා ඔවුහූ දෙදෙනාගේ සමට යටින් නිසංසලේ ගුම් දෙන මරණයේ යන්ත්‍ර වලට සවන් දෙති. ඔවුන් සදාකාලිකව එකිනෙකා හට හිමි වී සිටින බව ඔවුනට වැටහෙයි. මේ ඔවුන්ගේ අවසාන වූත් මාහැගිම වූත් ආදරයි.

~ජීවිතය අන් තැනක ~
(මිලාන් කුන්දේරා)

බලා හිදීමි මම


 



තාවකාලික නවාතැන…

එන්න…අපි හමුවෙමු යලි යලිදු මේ සොදුරු නවාතැන් පලේ…ලැගුම් ගමු අපි තාවකාලික හමුවීමක සුවය අත්විද ගැනුමට..ඉඩහසර ලබා ගමු අපි මේ තාවකාලික හමුවීම රසවත් කර ගැනුමට,ඔබද මා ද එක්ව අපේම වූ ලොවක තනිවෙමු.උනුන් දෙස බලා සැනසෙමු හිනැහෙමු ස්නේහයෙන්…ගෙවී ගිය කාලයත් සමග උදාවන එක් අලුත් අලුයමක වෙන්ව යමු අපි නැවත නොහදුනන්නන් ලෙස වෙස් ගෙන…කිමද සෝ සුසුම්,කුමටද විරහ වේදනාවන්…නුඹ නොමැති මගේ ලොවට මම යන්නෙමි තුටින් අපි අපේ කරගත් ඒ කාලයක සිහිවටන මම දමා යන්නෙමි මේ තාවකාලික නවාතැන තුලම…ඉදින් එන්න රදවා සිනාවක් මුවග,එන්න නොපැකිලව මේ සොදුරු නවාතැනට…අපි තුටින් අරඹන අපේ තාවකාලික හමුවීමට…

 

ආරාධනය…

වස්සානය

ඉගි කරයි

කවුලුව අභියස,

මුමුණමින් ගීයක ස්වර

දැවටී

සුළං රැල්ලක…

(අයදින්නේ ඔබෙන් මම අනෝරා වැස්සක් නොවී හිත සනහාලන පොද වැස්සක් වෙන්න)

Post Navigation